ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික් ගැන දැනගනිමු... (Digital & Analog)

කොහොමද යාළුවනේ...!


දැන් අවාරෙට පොල් වැටෙනවා වගේනේ Blog එකේ Post එකක් වැටෙන්නෙත්. මොකද ඉතින් මේදවස්වල නම් ටිකක් වැඩ වැඩියි. ඒනිසා අළුතෙන් Post එකක් දාන්න පරක්කුවෙයි.

ඒත් එහෙම කියලා, යාළුවෝ ටික මාව අමතක කරන්න එපා.
Comment එකක් එහෙම දාලා පොඩි දිරිමත් කිරීමකුත් කරන්න.
හරි හරි වැඩිකතා නැතුව අද පාඩමට සම්බන්ධවෙමුකෝ...

කලින් ලිපියකින් මං ඔයාලට ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රිකල් පිළිබදව හැදින්වීමක් කලානේ. එහිදි මං කිවුවා "ඉලෙක්ට්‍රොනික්" කියන්නේ විදුලිය, විද්‍යුත් සංඟඳා(Electric Signal) බවට හරවා භාවිතා කරන තාක්ෂණයක් කියලා.
ඉතින් ඇත්තටම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වෙලා තියෙන්නේ විද්‍යුත් සංඟඳා මතයි. එහිදි භාවිතාවන විද්‍යුත් සංඟඳා වර්ගය මත ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයත් කොටස් 2කට බෙදෙනවා.

1. ඇනලොග් ඉලෙක්ට්‍රොනික් (Analog Electronic)
2. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් (Digital Electronic)

දැන් අපි මේ තාක්ෂණික ප්‍රභේද 2ගැන වෙන වෙනම සාකච්ඦා කරමු..



 "ඇනලොග් ඉලෙක්ට්‍රොනික්" (Analog Elctronic) 


'ඇනලොග් ඉලෙක්ට්‍රොනික්' කියන නම නම් වැඩිදෙනෙක් අහලත් නැතිව ඇති. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ මුල් අවදියේදී තමා මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය බහුලවම භාවිතා වුනේ. 
නමුත් අදටත් මේ "ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය" 
භාවිතාවෙනවා කියන එකත් ඕගොල්ලො මතක තියාගන්න..

ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ 'ඇනලොග් සංඟඳා' (Analog Signal), නැතිනම් සිංහලෙන් කියනවනම් "ප්‍රතිසම සංඟඳා" මතයි.
"ප්‍රතිසම සංඟඳාවක්(Analog Signal) කියන්නේ උපරිම හා අවම අගයන් 2ක් අතර අනන්ත ආකාරයෙන් වෙනස්විය හැකි සංඟඳාවකි."
එනම් ප්‍රතිසම සංඟඳාවේ උපරිම හා අවම අගයන් 2 අතර ඇති පියවර ප්‍රමාණයන් අපට නිශ්චිතව ගණනය කරන්න අමාරුයි.

තවද අප ජීවත්වන පරිසරයේ (ස්වභාවික පරිසරයේදී) දැකගන්න තිබෙන්නෙත් මෙම ප්‍රතිසම ආකාරයේ සංඟඳා පමණයි.
උදා:-  මිනිස් කටහඩ ආදී විවිධ ශබ්දයන්
         පරිසරයේ ඇති උෂ්ණත්වයේ වෙනස්වීම්
         ආලෝකයේ ත්‍රීවරතාවය

එවගේම ඉලෙක්ට්‍රෝනික් පරිපථයක ප්‍රතිසම සංඟඳා(Analog Signal) ක්‍රියාත්මක වෙන්නේ. බල සැපයුමෙන් ලැබෙන උපරිම හා අවම වෝල්ටීයතා අගයන් මතයි.
උදා:-
පරිපථයකට අපි 12V සැපයුමක් දෙනවානම්. එම පරිපථය තුල, 0V හා 12V අගයන් 2ක අතර ඇති අනන්න වු කුඩා ප්‍රමාණයේ වෝල්ටීයතා මට්ටම් රාශියක් ඇතිකරගන්න පුලූවන්. එතුලින් එකිනෙකට වෙනස්වු ප්‍රතිසම ආකාරයේ විද්‍යුත් සංඟඳා රාශියක් ඇතිකරගන්න පුළුවන්..

ඉතින් මේ විදියට ප්‍රතිසම සංඟඳා(Analog Signal) මත පදනම් වී ඇති ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අපි "ඇනලොග් ඉලෙක්ට්‍රොනික්" 
(Analog Electronic) ලෙසින් හදුන්වනු ලබනවා..

එවගේම මේ විදියට ප්‍රතිසම සංඟඳා මගින් ක්‍රියාකරන ඇනලොග් පරිපථ ගොඩනැගීමට අපි ට්‍රාන්සිස්ටර්,කැපෑසිටර්, රෙසිස්ටර්, ඉන්ඩක්ටර්, ඩයෝඩ,Analog IC ආදී විවිධ වර්ගයේ ඇනලොග් උපාංග බහුලව භාවිතාකරනු ලබනවා...
එවගේම මෙම 'ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය'  පදනම් කරගෙන සාදා ඇති උපකරණ අපි "ප්‍රතිසම උපකරණ" (Analog  Device) ලෙසින් හදුන්වනු ලබනවා.
උදා:-
ප්‍රතිසම ඔරලෝසු (Analog Clock)
ප්‍රතිසම බහුමාන (Analog Mulitmeter)
ප්‍රතිසම රේඩියෝ (Analog Radio)

  


ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් (Digital Electronic)

"ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්" කියන නම නම් ඕගොල්ලෝ හැමෝම වගේ අහල ඇති. මොකද වර්ථමානයේ ජනප්‍රියම තාක්ෂණය වෙලා තියෙන්නෙ මේ 'ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයනේ.'

ඉතින් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ, ඩිජිටල් සංඟඳා(Digital Signal) නැතිනම් සිංහලෙන් කියනවනම් "අංකිත සංඟඳා" මතයි. (සංඛ්‍යාංක සංඟඳා කියලත් කියනවා)
"අංකිත සංඟඳාවක්(Digital Signal) කියන්නේ උපරිම හා අවම අගයන් 2ක් අතර නිශ්චිත පියවර ප්‍රමාණයක්, නැතිනම් මට්ටම් ප්‍රමාණයක් ඇති සංඟඳාවකටයි."
එනම් අංකිත සංඟඳාවේ උපරිම හා අවම අගයන් 2ක අතර ඇති පියවර ප්‍රමාණයන් අපට නිශ්චිතවම ගණනය කරගන්නට පුළුවන්..

නමුත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් වලදි, පියවර නැතිනම් මට්ටම් විශාල ප්‍රමාණයක් ඇති අංකිත සංඟදා වර්ග භාවිතාවෙන්නේ නෑ. මොකද එහෙම කලොත් ඩිජිටල් පරිපථ ඉතා සංකීර්ණ වෙනවා. ඒනිසා අංකිත සංඟඳාවල ඇති සරලම අවස්ථාව වන උපරිම හා අවම අගයන් වශයෙන්  පියවර 2ක් පමණක් ඇති අංකිත සංඟඳාව මේ සදහා යොදාගනු ලබනවා..
මෙම සරල සංඟඳාවේ, උපරිම මට්ටම අපි "1" ලෙසත්, අවම මට්ටම "0" ලෙසත් නම්කරනු ලබනවා. අපි එහෙම නම්කරන්නේ ගණනය කිරීමේ පහසුව නිසයි. මොකද එතකොට අපිට මේසදහා 'ද්වීමය සංඛ්‍යා'
(Binary Digit) භාවිතා කර අවශ්‍ය ගණනය කිරීම් පහසුවෙන් සිදුකරගැනීමට පුළුවන්නේ...

හැබැයි මේ අංකිත සංඟඳා අප ජීවත් වන පරිසරයේ(ස්වභාවික පරිසරයේ) දැකගන්නට ඇත්තෙම නැති තරම්, ඒවුනාට මිනිසා විසින් වර්ථමානයේ නිපදවන සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකම පාහේ මෙම අංකිත සංඟදා අන්තර්ගත වෙනවා..
උදා:-
පරිගණකය 
ජංගම දුරකථනය
ඩිජිටල් සන්නිවේදන ක්‍රම

ඉතින් මේ ඩිජිටල් උපකරණවල අංකිත සංඟදා ඇතිවන්නේ එම පරිපථයට ලබාදෙන බල සැපයුමේ ඇති උපරිම හා අවම වෝල්ටීයතා මට්ටම් 2ක පදනම් කරගෙනයි.
බොහෝවිට ඩිජිටල් පරිපථයක අංකිත සංඟදා නිපදවීමට 5Vක පමණ වෝල්ටීයතාවක් භාවිතාකරනවා. 
එහිදි 5Vක වෝල්ටියතාව අංකිත සංඟදාවේ "1" ලෙසද, 0Vක වෝල්ටීයතාව අංකිත සංඟදාවේ "0" ලෙසද නිරූපණය කරනවා.

ප්‍රායෝගිකව අංකිත සංඟඳා නිරූපණයේදි
"0" නිරූපණයට =0V-0.8V දක්වා වෝල්ටීයතාවකුත්
"1" නිරූපණයට =2.4V-5V දක්වා වෝල්ටීයතාවකුත්
 භාවිතා වෙනවා.

ඉතින් මේවිදියට අංකිත සංඟදා(Digital Signal) මත පදනම් වී ඇති ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අපි "ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්" (Digital Electronic) ලෙසින් හදුන්වනු ලබනවා.

එවගේම මේවිදියට අංකිත සංඟඳා මගින් ක්‍රියාකරන ඩිජිටල් පරිපථ ගොඩනැගීමට අපි කලින් කථාකරපු ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර් වැනි ඇනලොග් උපාංගත් භාවිතාකරන අතර, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සදහාම සුවිශේෂවු උපාංග කිහිපයක්ද භාවිතා වෙනවා.


මයික්‍රෝකොන්ට්‍රෝලර් (Microcontroller)
මල්ටිප්ලෙක්සර් (Multiplexer)
රැම් (RAM)
රොම් (ROM)
රෙජිස්ටර් (Register)
ගේට් (Logic Gate)
ෆ්ලිප්-ෆ්ලොප් (Flip Flop)
මෙලෙස විවිධාකාරවු ඩිජිටල් උපාංග රාශියක් පවතිනවා. නමුත් මේ සෑම ඩිජිටල් උපාංගයක්ම පාහේ දැකගැනීමට ඇත්තේ, IC ස්වරූපයෙනුයි.

තවද මේ සෑම ඩිජිටල් උපාංගයක්ම සෑදී ඇත්තේද පෙරදි සදහන් කල ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්,කැපෑසිටර් වැනි ඇනලොග් උපාංග වලින්මයි.

එවගේම වර්ථමායේදි දක්නට ඇති "මයික්‍රෝකොන්ට්‍රෝලර්" යොදා සෑදු ඩිජිටල් පරිපථ ක්‍රමලේඛණයකර (Program) භාවිතයට ගැනීමටද හැකියාව පවතිනවා.

ඉතින් මේ විදියට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් කරගෙන නිපදවා ඇති උපකරණ අපි "ඩිජිටල් උපකරණ" (Digital Device) ලෙසින් හදුන්වනු ලබනවා..
උදා:-
පරිගණකය (Computer)
ඩිජිටල් ඔරලෝසුව (Digital Clock)
ඩිජිටල් කැමරාව (Digital Camera)
ඩිජිටල් බහුමානය (Digital Multimeter)


වැදගත්...!
ඉගෙනීමේ පහසුව නිසා මෙම ඇනලොග් ඉලෙක්ට්‍රොනික් හා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් වෙන වෙනම ඉගෙනගත්තත්, ප්‍රායෝගික භාවිතයේදී මේදෙකම එකට භාවිතාකරන්න සිදුවෙනවා. ඒනිසා මේ තාක්ෂණික ප්‍රභේද 2කම ගැන මූලික දැනීමක්වත් තිබීම අත්‍යවශ්‍ය වෙනවා..


1)අපගේ Facebook සමූහය හා එක්වන්න..   

2)අපගේ Facebook පිටුව හා  එක්වන්න...    


ඔන්න එහෙනම් අද ලිපිය අවසානයි. 

       තවත් ලිපියකින් නැවත හමුවෙමු....!!

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment