ස්නේහන පද්ධතියක අවශ්‍යතාවය

01. ස්නේහන පද්ධතියක අවශ්‍යතාවය

එන්ජිමක් යනු ලෝහ පෘෂ්ඨ වලින් සමන්විත කොටසකි. මෙම ලෝහ පෘෂ්ඨ තවත් ලෝහ පෘෂ්ඨයක් සමග ඇතිල්ලීමේදී එම චලිතය හෙතුවෙන් ඝර්ෂණය ඇතිවේ. මෙම ඝර්සණ බලය මැඩ පැවැත්වීම සදහා එන්ජිම නිපදවන ශක්තියෙන් විශාල කොටසක් වැයවේ. මෙසේ වැය වන ශක්ති ප්‍රමාණය නිපදවෙන ඝර්ෂණ බලයේ විශාලත්වය මත රදා පවති.
මෝටර් වාහන එන්ජිමක චලිතය වන කොටස් අතර ඇතිල්ලුම් කොටස් බොහෝමයක් පවති. එනම් සිලින්ඩර බිත්ති මත පිස්ටන් වලලු වල චලිතයත් දඟරකඳ බෙයාරිම් අතර ඇති වන චලිතයත්, කැමි දණ්ඩ හා කැමි මුදුන් අතර ඇති වන චලිතය ආදිය ප්‍රධාන වශයෙන් වේ. මෙම පෘෂ්ඨ අතර ඇති වන ඝර්ෂණය ඉතාමත් තදින් බලපාන ඝර්ෂණයකි. එමෙන්ම ඝර්සණය හෙතුවෙන් එම ඝර්ෂණය වන කොටස් ඉතා ඉක්මනින් ගෙවීයාමට භාජනය වේ. මෙසේ කාලයක් එන්ජිම ර්‍ක්‍රයාත්මක වුවහොත් එම කොටස් විනාශවී එන්ජිමේ ර්‍ක්‍රයාකාරීත්වය ඇණහිටීමට පුළුවන.
මේ ආදී වශයෙන් එන්ජිමේ මෙම ප්‍රධාන කොටස් වලට ඝර්ෂණය මගින් ඇති වන හානිය වලක්වා ගැනීමට යම් කිසි උපක්‍රමයක් යෙදිය යුතුය. එසේ මෙම කොටස් අතර ගෙවීම අවම කර ගැනීම සදහා යොදා ඇති උපක්‍රමය නම් එන්ජිමට ස්නේහන තෙල් වර්ගයක් සපයා එම ස්ථාන වල ඇතිවන ගෙවීම අඩු කරයි. මෙම නිසා එන්ජිමක ස්නේහන පද්ධතියට විශේෂිත තැනක් හිමිවේ.මන්ද ස්නේහන පද්ධතිය දෝෂ සහිත නම් එන්ජිමේ ආයුකාලය ඉතා ඉක්මනින් අඩුවේ.

02. ඝර්ෂණයේ ප්‍රධාන අවස්ථා

  මෙසේ ඇති වන ඝර්ෂණය පිළිබදව සලකා බලන කල එම ඝර්ෂණයේ ප්‍රධාන අවස්ථා කිබිපයක් ඇත. එනම්;
                   1. වියළි ඝර්ෂණය
                   2. ඝණ ඝර්ෂණය
                   3. තරල ඝර්ෂණය
        
    වියළි ඝර්ෂණය අවස්ථාවේදී සිදුවනුයේ චලනය වන කොටස් එකිනෙකට ඇතිල්ලීමයි. මෙම ඝර්ෂණ අවස්ථාව මගින් ස්නේහනයක් සිදුනොවන අතර කොටස් ගෙවියාම වැඩිවේ.
          ඝණ ඝර්ෂණයේදී ඇති වනුයේ චලනය වන කොටස් අතරට තෙල් ස්වල්පයක් පමණක් යෙදීමයි. මෙමගින් තරමක ස්නේහන ගතිසක් ඇතිවේ. මෙම ක්‍රමය දෙපහර පෙට්‍රල් එන්ජින් සදහා යොදා ගනියි.
          තරල ඝර්ෂණ අවස්ථාවේදී චලනය වන කොටස් අතර තෙල් පටලයක් පවත්වා ගැනීම මගින් ඝර්ෂණය අඩු කරගෙන ඇත.දැනට බහුලව භාවිත වන ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය හැදින්විය හැකිය. නමුත් මෙම ක්‍රමයේදී තෙල් පටලයක් පවත්වා ගැනීම සදහා අඛණ්ඩව ඝර්ෂණය වන ‍කොටස් අතරට තෙල් සැපයීම කල යුතුය. මේ නිසා එම ක්‍රමය තරමක් සංකීර්ණ ක්‍රමයක්වේ. මෙහිදී චලනය වන කොටස් වටා තෙල් පටලයක් පවත්වා ගනිමින් චලනය වන දඟරකඳ වැනි කොටස් ඒ මත චලනය වේ. මෙහිදි එන්ජිම ක්‍රීයාත්මක වන විට  දඟරකඳ ෂාෆ්ට් එකෙහි හා බෙයාරින් පලු අතර ඇති කුඩා ඉඩ වාසියට තෙල් රිංගා ගනී. එමගින් භ්‍රමණය වන දඟරකඳ ඔසවා තබා ගෙන තෙල් පටලයක් ක්‍රියාත්මකවේ.

03. ස්නේහන ක්‍රම

 ස්නේහනය සිදු කරන ආකාරය අනුව ස්නේහන ක්‍රම වර්ග කර දැක්විය හැකිය. සිව්පහර එන්ජින් සදහා මෙන්ම දෙපහර එන්ජින් සදහා ද ස්නේහන ක්‍රම භාවිත කරයි. සිව්පහර එන්ජින් සදහා භාවිත වන ස්නේහන ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කර ඇත. එනම්;

1.     සිංචන ස්නේහන ක්‍රමය (Splash Lubrication System)
2.     කෘත පෝෂණ ක්‍රමය (Force Feed Lubrication System)

මෙම ක්‍රම දෙකට අමතරව දෙපහර එන්ජින් සදහා පමනක් භාවිත කරනු ලබන ස්නේහන ක්‍රමයක් ලෙස මිශ්‍ර ස්නේහන ක්‍රමය දැක්විය හැකිය. මෙම ස්නේහන ක්‍රම පිළිඹදව වෙන වෙනම විමසා බැලිය හැක.
 

සිංචන ස්නේහන ක්‍රමය (Splash Lubrication System)

සිංචන ස්නේහන ක්‍රමයේදී සිදු කරනු ලබන්නේ තෙල් දෙණ(oil sump) තුල විසිර ඇති තෙල්, හැන්දක් වැනි කොටසක් මගින් එන්ජිමේ ඉහළ කොටස් කරා විසි කර හැරීමයි.  මෙහිදී පිස්ටන් අතේ බෙයාරින් පියන යට ඇති හැන්දක් වැනි කුඩා කොටසක් මගින් එන්ජිම භ්‍රමණය වීමේදී තෙල් විසිකිරීම සිදුකරයි. මෙසේ ඉහළට විසිකරනු ලබන තෙල් බිදිති මගින් බෙයාරිම් ජ’නල්,  කැමිදණ්ඩ, පිස්ටනය, සිලින්ඩර බිත්ති, පිස්ටන් ඇණය ආදී කොටස් ස්නේහනය කරයි.
නමුත් මෙම ක්‍රමය වෑල්ව, එන්ජින් හිසේ පිහිටුවා ඇති එන්ජින් සදහා එතරම් සුදුසු නොවේ. මන්ද මෙම ඉසිනු ලබන තෙල් එන්ජිමේ  ඉහළ කොටස් වලට විසිවන්නේ සුළු වශයෙන් බැවිනි. එමෙන්ම මෙම ක්‍රමය බොහෝ විට භාවිතයට ගනු ලබන්නේ සිව්පහර තනි සිලින්ඩර කුඩා එන්ජින් සදහාය.මෙහි ස්නේහන පද්ධතිය වෙන්කර හදුනාගත නොහැක. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් නොවන අතර  එයින් මුලු පද්ධතියම ස්නේහනය නොවේ. වර්තමානයේ නවීන මෝටර් රථ වල මෙම සිංචන ස්නේහන ක්‍රමය භාවිත නොවේ.

 

කෘත පෝෂණ ස්නේහන ක්‍රමය (Force Feed Lubrication System)

මෙම ක්‍රමයේදී තෙල් දෙණෙහි පිහිටුවා ඇති තෙල් පොම්පයක් මගින් අධික පීඩනයක් යටතේ ඉහලට පොම්ප කරන තෙල් මගින් එන්ජිමේ සියලු කොටස් ස්නේහනය වීම සිදුවේ. මෙම ක්‍රමයේදී තෙල් දෙණෙහි ඇති තෙල් මත පාවෙන දැල් පෙරහනක් ඇත. මෙම දැල් පෙරහන මගින් පොම්පයට ඇද ගන්නා තෙල් වල ඇති අපද්‍රව්‍ය කොටසක් බැහැර කරනු ලබයි. මෙම දැල් පෙරහනට අමතරව තව දුරටත් ඉතා සියුම් ලෙස පෙරා ගැනීමට ඔයිල් ෆිල්ටර් තෙල් මාර්ගයෙහි සවිකර ඇත. මෙසේ ඉහලට ඇද ගන්නා තෙල්, ගමන් කරන තෙල් මාර්ගයක්ද ඇත. එනම්;

තෙල් තැටිය ......තෙල් පොම්පය.......සහන වෑල්වය.......තෙල් ගැලරිය....... 
තෙල් පීඩනමාන සංඥාව.......තෙල් පෙරහන        

ආදී මාර්ගයයි. අවසානයේ මෙම තෙල් නැවත තෙල් දෙණට රූටා වැටේ.
                                            
   ඉහත දැක්වු පරිදි පොම්පයෙන් ඇද ගන්නා තෙල් පෙරහන හරහා ගොස් ප්‍රධාන ගැලරියට යොමු කරයි. එතනින් දඟරකඳ බෙයාරිම් වලටත් එන්ජින් බඳ හරහා විද ඇති සිදුරු මාර්ග වලින් තෙල් සැපයීම සිදු කරයි. ප්‍රධාන බෙයාරිම් වලට සැපයෙන තෙල් වලින් ඒවා ස්නේහනය කරමින් දඟරකඳ තුල විද ඇති සිදුරු මාර්ග හරහා මහාකොන් බෙයාරිම් වලට තෙල් සපයයි. සමහර එන්ජින් වල පිස්ටන් අත හරහා කුඩා කොනට යොමු කර ඇති මගින් පිස්ටන් ඇණය වටා ස්නේහනය කරයි. සිලින්ඩර හිස ස්නේහනය සදහා සිලින්ඩර බඳ හරහා විද ඇති තෙල් මාර්ග හෝ වානේ නල හරහා එන්ජිමට පිටතින් තෙල් සපයමින් සැලගිලි හා සැලගිලි දණ්ඩ ස්නේහනය කරයි.සිලින්ඩර බිත්ති ස්නේහනය කිරීම දඟරක‍‍දෙන් විසි වු තෙල් වලින් හෝ සමහර එන්ජින් වල පිස්ටන් අතේ මහා කොනේ විද ඇති සිදුරු මගින් කුඩා කොන දක්වා ගොස් තෙල් දහරාවක් විදීම සිදුකරමින් හෝ ස්නේහනය සිදු කරයි. එමෙන්ම මුහුර්තන ගියර හෝ මුහුර්තන දම්වැල් ආදිය ස්නේහනය කිරීමට ද එන්ජිමේ ගැලරියේ සිට වෙන වෙනම තෙල් මාර්ග ඇත.එසේ නැතහොත් ඉහළ සිට රූටා වැටෙන තෙල් වලින් එම කොටස් ස්නේහනය සිදුකරන ක්‍රම ද ඇත.

 

මිශ්‍ර ස්නේහන ක්‍රමය

මිශ්‍ර ස්නේහන ක්‍රමය යොදා ගන්නේ දෙපහර එන්ජින් සදහාය. එහිදී කරනුයේ භාවිත කරන පෙට්‍රල් ඉන්ධන සමග ස්නේහන තෙල් මිශ්‍ර කර යොදා ගැනීමයි. ඉන්ධන ටැංකියට අනුපාතයකට මිශ්‍ර කර යොදා ගැනීමේදී ඉන්ධන දහනය වන අතර සංතෘප්ත ස්නේහයක් පමණක් පිස්ටනය සහ අවට ස්නේහනය කරයි. මෙම මිශ්‍රණයේ යම් ස්නේහන තෙල් ප්‍රමාණයක් සැම විටම දහනය වෙමින් යයි. එන්ජිමේ ඇතුලත සංතෘප්ත ස්නේහන ගතියක් පමණක් ඇත. මිශ්‍රණ අනුපාතය 22:1 සිට 33:1 දක්වා දකින්න ඇත. එනම් ඉන්ධන කොටස් 22 කට ස්නේහන තෙල් 1ක් කොටසක් ලෙස යොදා ගනී.

         
වියළි තෙල් දෙණ ක්‍රමය(Dry Sump Method)

මෙම වියළි තෙල් දෙණ ක්‍රමය ද භාවිත කරනුයේ ස්නේහන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සදහාය. සමහර අවස්ථා වල මාර්ගයේ පිහිටීම අනුව කදු බෑවුම් සහිත මාර්ග වලදී මෙන්ම අධික වේගයෙන් වංගු ගන්නා විටදී තෙල් දෙණෙහි ඇති තෙල් එක් පැත්තකට විසර යයි. මෙමගින් තෙල් පොම්පයට තෙල් ඇද ගැනීම අපහසු වේ. මෙවිට ස්නේහන ස්ථාන වලට තෙල් සැපයීමේදී බාධා පැමිණිය හැක. මෙබදු අවස්ථා වල දී අවහිරයකින් තොරව තෙල් පොම්ප කිරීම සදහා වියළි තෙල් දෙණ ක්‍රමය භාවිත කෙරේ.
          මෙම ක්‍රමයේදී තෙල් දෙණහි (OIL SUMP) ඇති තෙල් වෙනුවට වෙනම ටැංකියක් තුල තෙල් ගබඩා වේ. තෙල් දෙණහි ඇති තෙල් වෙනම තෙල් පොම්පයකින් වෙනත් ස්ථානයක ඇති ටැංකියකට ගබඩා කෙරේ. එතැන් සිට එන්ජිමේ අවශ්‍ය ස්ථාන වලට තෙල් සැපයීම සිදුකරයි. මෙයින් අදහස් කරනුයේ ප්‍රධාන තෙල් දෙණ වියළි ආකාරයකින් පැවතීමට ඉඩ හරින බවයි. නමුත් භාවිතයට ගන්නා, එනම් ස්නේහනය සදහා යොදා ගෙන රූටා වැටෙන තෙල් සියල්ල නැවත එකතු වන්නේ තෙල් දෙණ වෙතටයි. නැවත එතැන් සිට ෆිල්ටර් හරහා වෙනම සකසා ඇති ටැංකියකට තෙල් යොමු කරයි. මෙම ක්‍රියාව අඛණ්ඩව සිදුවීම මගින් ස්නේහනය නිසි ආකාරව සිදුවේ.

04. තෙල් පොම්ප (Oil Pump)

තෙල් දෙණ තුල ඇති තෙල් ඇද ගෙන අධික පීඩනයක් යටතේ එන්ජිමේ කොටස් සදහා පොම්ප කිරිමට තෙල් පොම්පයක් අවශ්‍යවේ. මෙසේ පිඩනයක් නොමැති විට තෙල් කුංඤ ක්‍රියාවට බාධා පැමි‍ණෙයි. එනම් බෙයාරිම් තෙල් පටල වල පාවීම සිදුනොවේ. එම නිසා ස්නේහන තෙල් පද්ධතිය තුල පීඩනයකින් සැපයීම අනිවාර්වේ. නවීන මෝටර් වාහන  භාවිත වන තෙල් පොම්ප වර්ග තුනකි. එනම්;


1.  ගියර වර්ගයේ තෙල් පොම්පය (Gear Type Oil Pump)

2.  භ්‍රමක වර්ගයේ තෙල් පොම්පය (Rotor Type Oil pump)

3.  අභ්‍යන්තර ගියර අඩ සඳ වර්ගයේ තෙල් පොම්පය(Internal Gear Crescent Type Oil Pump)

 

i. ගියර වර්ගයේ තෙල් පොම්පය

ගියර වර්ගයේ තෙල් පොම්පය සමන්විත වන්නේ හොදින් මුද්‍රා කොට තනා ඇති නිවෙස්නාවක් තුලය. මෙහි ගියර යුගලයක් ඇත. මෙම ගියර යුගල අතර ඇත්තේ ඉතා කුඩා ඉඩ වාසියකි. ගියර යුගලයෙන් එක් ගියර රෝදයක් එළවුම් දණ්ඩකට සම්බන්ධ කොට ඇත. අනෙක් ගියර යුගලයෙන් එක් ගියර  රෝදයක් එළවුම් දණ්ඩකට සම්බන්ධ කොට ඇත. අනෙක් ගියර රෝදය සම්බන්ධ වන්නේ එන්ජිමේ කැමි දණ්ඩටය. එන්ජිම ක්‍රියාත්මක වු පසු කැමි දණ්ඩ කැරකවීම මගින් ගියර රෝද එළවුම සිදුකරනු ලබයි. ගියර කැරකෙන විට එයින් ඇති වන චූෂණය මගින් තෙල් පොම්පයට ඇදී එයි. ගියර රෝද කැරකවෙන විට තෙල් එම දැති අතරින් ගලාවිත් ඉහලට පොම්ප වේ. ගියර අතර ඇති ඉඩකඩ අඩු නිසා නැවත එම තෙල්, තෙල් දෙණට ගලා නොයයි.
          මේ අතර එන්ජිමේ වේගය වැඩි වන විට ඊට අනුරූපව ගියර රෝද වල වේගය ද වැඩිවේ. එවිට පොම්ප කරන තෙල් ප්‍රමාණයද වැඩිවේ. නමුත් තෙල් මාර්ග වල පවතින පීඩනය සමාන බැවින් පොම්ප කරන තෙල් වැඩි වු විට එම නල වල තෙල් සම්පීඩනය වැඩීවී යයි. මෙම ඉහල යන පීඩනය පාලනය කිරීම සදහා මෙම තෙල් පොම්ප වර්ගයට පීඩන සහන වෑල්වයක් යොදා ඇත.
          මෙම සහන වෑල්වය පිහිටා ඇත්තේ පසු පිටේ දැක්වෙන රූපය පරිදි අතුරු තෙල් මාර්ගයකය. මෙම පොම්පය මගින් පිටාර පැත්තේ ඇති පීඩනය වැඩි වු විට වෑල්ව දුන්නේ ආතතිය මැඩගෙන එම වෑල්වය විවෘතවේ. එසේ මෙම වෑල්වය විවෘත වීමේදී පීඩනය වී වැඩි පුර ඇති තෙල් දෙණට ගමන් කරයි. දුන්නේ ආතතියට වඩා පිටාර මාර්ගයේ ආතතිය අඩු වු විට නැවත එම දුන්න වැසි යයි. මෙම දුන්නේ ආතතිය එක් එක් එන්ජිමට අනුව වෙනස්වේ. එය නිෂ්පාදක පිරිවිතරයෙහි දක්වා ඇත.



ii. භ්‍රමක වර්ගයේ තෙල් පොම්පය

මෙම වර්ගයේ තෙල් පොම්පයක ක්‍රියාකාරීත්වය ගියර වර්ගයේ තෙල් පොම්පයට බොහෝ සෙයින් සමාන වේ. එහෙත් මෙහි ගියර රෝද දෙකක් වෙනුවට ඇත්තේ භ්‍රමක දෙකකි. මෙහි නිවෙස්නාව තුල එක මත එක පිහිටන ආකාරයට ගියර දෙකක් ඇත. මෙය එළවුම් දණ්ඩක් මගින් කැමි දණ්ඩෙහි ඇති විශේෂිත ගියරයකට සම්බන්ධ වේ. එමගින් පොම්පයේ ඇති ගියර වීල් වල මැද ඇති ඇතුලත භ්‍රමකය ක්‍රියාත්මක වේ. එය පිහිටා ඇත්තේ විකේන්ද්‍රිකවය. පිටත භ්‍රමකයේ ඇති දැති මුදුන් සංඛ්‍යාව ඇතුලත භ්‍රමකයේ ඇති දැති මුදුන් සංඛ්‍යාවට වඩා එකක් වැඩිය. භ්‍රමකය කැරකවීමේ දී මුදුන් අතර ඇති ඉඩෙහි වැඩි වීම හා අඩු වීම අනුව තෙල් පොම්ප කිරීම සිදුවේ.

මෙහිදී එන්ජිමේ වේගය වැඩි වන විට පොම්ප කරන තෙල් ප්‍රමාණයද වැඩිවේ. එහෙත් ස්නේහන පද්ධතියේ පීඩනය නියමිත අගයක තබා ගැනීම සදහා මුලින් සදහන් කල වර්ගයේ සහන වෑල්වයක් මෙම වර්ගයේ තෙල් පොම්ප වල ද යොදා ඇත. එමගින් වැඩිපුර ගලන තෙල් නැවත තෙල් දෙණ කරා ගමන් කර


iii. අභ්‍යන්තර ගියර අඩ සඳ වර්ගයේ තෙල් පොම්පය

අභ්‍යන්තර දැති සහිත ගියර වලල්ලක් හා එය තුල පිහිටමින් ගියර වලල්ල සමග සම්බන්ධව පවතින බාහිර දැති සහිත ගියර රෝදයකින් මෙය සමන්විතවේ. මෙම ගියර රෝද යුගල නිවෙස්නාවක් තුල අඩංගු කර ඇත. මෙම ගියර රෝද වල කැරකුම් අක්ෂයන් එක් ආකාරයකටම නොමැත. එනම් මෙම ගියර රෝද යුගල විකේන්ද්‍රීව පිහිටා ඇත. මෙම නිසා ගියර දෙක අතර හිඩසක් ඇතිවේ. එනම් අඩ සඳක් වැනි කොටසකි. මෙම අඩ සඳක් වැනි කොටස අචල ලක්ෂයක් ලෙස සකස් කොට ඇත.

මෙම ගියර වර්ගයේ තෙල් පොම්පයෙහි බාහිර දැති ඇති කොටස එළවුම් ගියරයයි. මෙම එළවුම් ගියරය දඟරකඳට සම්බන්ධවේ. දඟරකඳහි ඉදිරි පස කොටසෙහි මෙය සවිවී ඇත. මේ නිසා දඟරකඳ කැරකෙන විට මෙම එළවුම් ගියරද කැරකවෙයි. එවිට නිවෙස්නාව තුල පිහිටා ඇති ගියර වලල්ලද කැරකවේ.මෙම ගියර වලල්ල කිසිදු ඊෂාවකට සම්බන්ධ කර නොමැත. එය නිවෙස්නාව තුල පිහිටුවා ඇත. නිවෙස්නාව හා ගියර වලල්ල අතර ඇත්තේ ඉතාමත් සියුම් ඉඩ ප්‍රමාණයකි.

ගියරය කැරකවෙන විට පොම්පයට තෙල් ඇතුලු වන චූෂණ කවුලුව අසල අඩු පීඩන ප්‍රදේශයක් ඇතිවේ. මේ නිසා තෙල් දෙණෙහි සිට දැල් පෙරහන හරහා තෙල් ඇදී විත් කැරකවෙන ගියර රෝද අතරට පිරෙයි. ගියර රෝද තව දුරටත් කැරකවෙන විට එළවුම් ගියර‍යෙහි දැති හා අඩ සඳ කොටසෙහි දැති මුහුණද අතර තෙල් සිරවෙන නිසා එම තෙල් දැති මගින් ගෙන ගොස් පිටාර කවුළුව දෙසට තල්ලු කර හරී. ‍මෙසේ නොකඩවා තෙල් පොම්ප කිරීම සිදුවේ. මෙසේ පිටාර කවුළුවෙන් තෙල් පිල්ටරය හරහා එන්ජිමේ කොටස් වලට ගලා යයි. මෙම පොම්පයේ පීඩනය පාලනය සදහා පීඩන සහන වෑල්වයක් යොදා ඇත.

මෙම වර්ගයේ පොම්පයක් සවි කිරීම සදහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය අඩුය. එහෙත් තෙල් පොම්ප කිරීමේ කාර්යක්ෂමතාවය වැඩිය. එමනිසා නවීන වාහන වල මෙම ක්‍රමය බහුලව භාවිතයට ගැනෙයි.


5. තෙල් පෙරීමේ ක්‍රම 

 එන්ජිමක තෙල් දෙණෙහි ඇති තෙල් පොම්පයට ඇද ගන්නේ කම්බි දැල් පෙරහනක් හරහාය. නමුත් මෙම කම්බි දැල් පෙරහනය මගින් තරමක් ලොකු අපද්‍රව්‍ය කොටස් පොම්පයට ඇතුල් වීම වලකයි. නමුත් කාබන් හා කුඩා දූවිලි කොටස් හා ලෝහ කොටස් ඇතුලු අපද්‍රව්‍ය මේවායේ තිබිය හැක. මෙම ඇතුලු වන කොටස් බේයාරිම් වලට හා පිස්ටන් ආශිත ස්ථාන වලට ඇතුලු වුවහොත් එන්ජිමට හානි සිදුවිය හැක. එම නිසා එම සියුම් කොටස් පවා ඉවත් වන ආකාරයට හොදින් මෙම තෙල් පෙරීම සිදුකල යුතුය. එම නිසා සියුම් පෙරහනක් මේ සදහා භාවිත කරයි. මෙම පෙරා ගන්නා තෙල් එන්ජිමට ලබා දෙන ආකාර දෙකකි. එනම්;

1.     පුර්ණ දහරා තෙල් පෙරීමේ ක්‍රමය (Full Flow Filter System)

2.     අර්ධ දහරා  පෙරීමේ ක්‍රමය (By –Pass System)

පූර්ණ දහරා  පෙරීමේ ක්‍රමය 

 පුර්ණ දහරා තෙල් පෙරීමේ ක්‍රමයේ දී පොම්පය මගින් පොම්ප කරන සියලුම තෙල් එන්ජිමේ කොටස් කරා යාමට ප්‍රථම පෙරනු ලබයි. මෙම නිසා එන්ජිමේ කොටස් වලට ලැබෙනුයේ හොදින් පෙරී පිරිසිදු වු තෙල්ය. යම් හෙයකින් මෙම පිල්ටරයේ යම් දුර්වලතාවයක් ඇති වුවහොත් තෙල් ගමන් කිරීමට බාධා ඇතිවිය හැක. එම දුර්වලතාවය මග හරවා ගැනීම සදහා මෙම පෙරහන් සදහා සහන වෑල්වයක් යොදා ඇත. එමගින් පෙරහනේ යම් දුර්වලතාවයක් ඇති වුවහොත් වෑල්වය විවෘත වීම මගින් එන්ජිමේ කොටස් වලට තෙල් ලබාදීම සිදුවේ.

අතුරු මාර්ග තෙල් පෙරීමේ ක්‍රමය 

       අතුරු මාර්ග තෙල් පෙරීමේ ක්‍රමයේදී තෙල් දෙණ මගින් ලබා ගන්නා  තෙල් වලින් කොටසක් පමණක් පෙරහන මගින් ගලා යයි. ඉතිරි කොටස කෙලින්ම එන්ජිමේ කොටස් කරා ගමන් කරනු ලබයි. පෙරහන තුලින් ගලායන ‍කොටස පෙරීමට භාජනය වු පසු නැවත තෙල් දෙණට බේරේ.

        පුර්ණ දහරා තෙල් පෙරීමේ ක්‍රමයේදී පොම්පයෙන් පොම්ප කරනු ලබන සියලුම තෙල් එන්ජිමේ කොටස් වලට යාමට පෙර පෙරහන තුලින් ගලා යන හෙයින් පෙරීමකින් තොරව තෙල් ගමන් කිරීමක් සිදු නොවෙයි. එම නිසා එන්ජිමේ කොටස් වලට ගමන් කරන්නේ හොදින් පෙරුන තෙල්ය.  එම නිසා මෙම ක්‍රම දෙකෙන් වඩා හොද ක්‍රමය ලෙස පුර්ණ දහරා තෙල් පෙරීමේ ක්‍රමය පිළිගත හැක. අතුරු මාර්ග ක්‍රමයේදී එකම අපද්‍රව්‍යක් වුවද පෙරීමකින් තොරව එන්ජිම තුල කිහිප වාරයක්ම සංසරණය විය හැක.අතුරු මාර්ග ක්‍රමයේ එකම වාසිය වන්නේ එහිදී භාවිතයට ගැනෙන පෙරහන ප්‍රමාණයෙන් කුඩාවීම. එහෙත් නවීන වාහන වල යොදා ගන්නේ පුර්ණ දහරා තෙල් පෙරීමේ ක්‍රමයයි.

          වාහන වල තෙල් පෙරහන් මාරු කිරීමේදී සමහර වර්ග වල පෙරහන් එළිමන්ට් එක පමණක් මාරැ කල හැක. නමුත් තහඩු හවුසිමක් තුල බාහා ඇති එක් ඒකකයක් ලෙස නිපදවා ඇති පෙරහන් වල එම ඒකකයම ඉවත් කර අලුතින් පිල්ටරයක් යෙදිය යුතුය. එන්ජිමක එන්ජින් ඔයිල් මාරු කරන සෑම අවස්ථාවකදීම එම එන්ජිමේ පෙරහන මාරු කල යුතුය. සමහර එන්ජින් සදහා 6000km පමණ එන්ජින් ඔයිල් මාරු කල යුතු බවට නිශ්පාදන පිරිවිතරයෙහි දක්වා ඇත. එමගින් බලා පොරොත්තු වන්නේ හොද සිසිලන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමයි.


6. තෙල් පීඩන සංඥා

                     තෙල් පීඩන සංඥා මගින් එම පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනවාද යන්න පිළිබදව රියදුරු හට දැනගත හැකිය. මෙම නිසා වාහන වල තෙල් පීඩන දර්ශකයක් නැනහොත් සංඥාවක් අනිවාර්යෙන්ම දක්වා ඇත. මෙය රියදුරු ඉදිරියේ ඇති මිටර පුවරුවෙහි ප්‍රදර්ශනය කරඇත. තෙල් පීඩන සංඥා එය දක්වන ආකාරය අනුව කොටස් වලට බෙදිය හැක.

1.     දර්ශක බල්බය සහිත තෙල් පීඩන සංඥාව

2.     විදුලි තෙල් පීඩන ආමාණය

3.     බෝටන් නලය    

දර්ශක බල්බය සහිත තෙල් පීඩන සංඥාව

ඔයිල් ප්‍රෂර් එක දර්ශනය වීම සදහා සාමාන්‍යයෙන් සම්මත වර්ණ වලින් යුක්ත බල්බයක් උපකරණ පුවරුවෙහි සවිකර ඇත. වාහන වල මේ සදහා යොදා ඇත්තේ කොළ හෝ රතු පැහැති දර්ශක බල්බයකි. රියදුරා විසින් ජ්වලන ස්විචය වැසු(ON) විට බල්බය දැල්වේ. මෙම බල්බයේ පරිපථය සම්පුර්ණ වන්නේ ස්නේහන පරිපථයට යොදා ඇති පීඩන ස්විචය හරහාය. ස්නේහන පද්ධතියේ පීඩනය යම් නියමිත ප්‍රමාණයකට ඉහළ යන තෙක් මෙම පරිපථය සම්පුර්ණ කරගෙන සිටියි. මෙම නිසා පද්ධතියේ පීඩනය අඩු අවස්ථාවේදී බල්බය දැල්වී පවතී. වාහනය පණ ගැන්වු පසු ස්නේහන පද්ධතියේ පීඩනය ඉහළ නගින විට පීඩන ස්විචයේ ප්‍රාචීරය මත තෙල් පීඩනය ක්‍රියාකර ස්පර්ශක තුඩු ඈත් කරමින් පරිපථය විවෘත(OFF) කරයි. මෙවිට බල්බය නිවී යයි. යම් හෙයකින් වාහන පණ ගන්වා තිබිය දී දර්ශක බල්බය දැල්වී තිබුණි නම් එයින් අදහස් කරන්නේ ස්නේහන පද්ධතියේ දෝෂ සහිත බවයි. එවිට වාහනය ක්‍රියා විරහිත කර එම දෝෂය නිවැරදි කිරීම අත්‍යාවශ්‍යවේ.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment