රජ කාලේ රට මැද පාර දිගේ සීතාවක සිට මහනුවරට ගමනක්

ghikghk 
 
හතර කෝරලයේදී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන් මාර්ගය හදුන්වන්නේ ”රටමැද පාර”, ”සිංහල පාර” වශයෙනුයි. අපගේ ගමන ආරම්භ වූයේ සීතාවකිනි. සීතාවක මායාදුන්නේ රජතුමාගේ නියෝගය මත ”ආර්ය” නම් ඇමැති රජ මාලිගාව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මංමාවත්, මල් උයන් ආදියෙන් පිරි සුන්දර නගරයක් බවට සීතාවක නුවර පත්කළේය. එතැන් සිට මායාදුන්නේ රජතුමා සහ එතුමාගේ පුත් සීතාවක 1 රාජසිංහ රජතුමා රට විනාශ කිරීමට පැමිණි පෘතුගීසින් හා ඔවුන්ට පක්ෂපාති කෝට්ටේ හා උඩරට පාලකයන් පලවාහරිමින් 1592 වනවිට කොළඹ කොටුව සහ යාපනයේ සුළු ප‍්‍රමාණයක් බිම් තීරුවක් හැර සෙසු පළාත් සීතාවක රාජධානියට අයත්කර ගත්තේය.
 

කෝට්ටේ රාජධානියේ සම්පූර්ණයෙන්ම මරක්කල ජනතාව පලවා හැර පෘතුගීසින් බලය ස්ථාපිත කරගැනීම නිසා මායාදුන්නේ රජු සීතාවක ප‍්‍රබලව සිටීම අනුව මුස්ලිම්වරුන් සීතාවක රජුගේ ආරක්ෂාව යටතේ පසුවී ඇති අතර සරණාගත මරක්කල ජනතාව විශාල වශයෙන් නැගෙනහිර පළාතට ගොස් පදිංචි වී ඇත.

ටිකිරි බණ්ඩාර රජ්ජුරු බණ්ඩාර නමින් ප‍්‍රසිද්ධ වූ සීතාවක රාජසිංහ රජු උපත ලබා ඇත්තේ 1532 ඇසළ මාසයේදීය. වයස අවුරුදු අටේදී පියාගේ නියෝජිතයා ලෙස කොළඹ යුද කඳවුරට ගොස් ඇති අතර වයස අවුරුදු එකොළහේදී පියාගේ යුද හමුදාවට එකතු වී ඇතුන්, අසුන් මෙහෙයවීම, යුද සටන් ක‍්‍රම මෙන්ම දක්ෂ වෙඩික්කරුවෙක් ද විය. අත් දෙකෙන් කඩු දෙකක් රැුගෙන කරකවමින් දිවයන අසුගේ පිට සිට තවත් අයෙකුගේ පිටට පැනීමට තරම් දක්ෂයෙකි. සෙබළුන්, පනස්දාහක්, යුද ඇතුන් දෙදාස් දෙසීයක්, කාලතුවක්කු එකසිය පනහක්, පාරු හාරසීයක්, යුදරථ, යුද නැව්වලින් සමන්විත ප‍්‍රබල යුද සේනාවක් ඔහු සතුව තිබී ඇත.

සීතාවක රාජ්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සැලකිය හැකිවන්නේ මානියම්ගම රජ මහා විහාරයයි. ටිකිරි බණ්ඩාර කුමරු කුඩාකල සිට මානියම්ගම රජ මහා විහාරය ”යකහටුවාව” කන්ද ආශි‍්‍රතව කි‍්‍රයාකරකම් වඩාත් ආභාසය ලබා ඇත.
22_SLTK_P_6

අවිස්සාවේල්ල නගරයේ සිට පනාවල මාර්ගයේ කි.මී. 4 පමණ ගිය පසු ”යකහටුවාව” කඳුවැටිය පාමුල පිහිටි මෙම ගල්ලෙන් විහාරය හමුවෙයි. කඳුවැටියෙන් ගලාබසින සුන්දර දොළ පහර දෙකක් මැද පිහිටි මෙම ලෙන් විහාරය කි.පූ. (103-76) වළගම්බා රජ සමයට උරුමකම් පායි. වළගම්බා රජතුමා අනුරාධපුරයේ ලංකාව ආක‍්‍රමණය කළ ද්‍රවිඩ සේනාවන් පලවා හැරීමට මානියම්ගම පිහිටි ගල්ලෙනේ සිට සේනා සංවිධානය කළ බවත් පසුව ගල්ලෙන් විහාරයක් කළ බවත් ඉතිහාසයේ කරුණු කියාපායි.

රජමහා විහාරයේ මකර තොරණ් දෙක අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අඩි 6 පමණ උස රූපයක් අඹා ඇත. දුරුතු පෝය දින රජ මහා විහාරයේ අලි ඇතුන්ගෙන් සමන්විත මහා පෙරහරක් පැවැත්වෙයි. එහි පෙරහර පිටත්වීමට දැනුම්දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ කාලතුවක්කුවෙනි.
මානියම්ගම රජ මහා විහාරයේ දුරුතු පෙරහරේ විශේෂත්වය වන්නේ කරල් කුමාරයාය. ප‍්‍රදේශයේ කුලවත් දරුවකු මේ සඳහා තෝරාගන්නේ රජදවස සිට රජු පිලිබිඹු කිරීමක් ලෙසය. යෝජිත කුඹුරේ ගොවි මහතා කුඹුරට ප‍්‍රවේශ මාර්ගය පිරිසිදුකර ලියද්ද වටා ගොක් රැුහැන් ඇද කුඹුරේ මල් පැලක් ද සාදා තිබිය යුතුය. හේවිසි කණ්ඩායම්, පෙරටුකර මහා සංඝරත්නය හා කරල් නෙළන කුමාරයා ලියද්දට කැඳවාගෙන ගොස් සෙත් පිරිත් කර පිරිත් පැන් ඉස කරල් නෙළා, කරල් මිටිය සුදු පිරුවටකින් ඔතා බන්දේසියක තබා අවට කුඹුරුවල නෙළන කරල් ද ගොවීන් එහිම තබා බන්දේසිය කුමරු මතින් ගෙන පෙරහරෙන්ම ගමන් කරයි.

සීතාවක, අවිස්සාවේල්ල, තල්දූව යන මාර්ගවල වීදි සංචාරය කර විහාරයට ගෙවදීමෙන් පසු පෙරහරින් ගෙනෙන ලද කරල් බන්දේසියේ අග‍්‍ර කොටස් ගෙන උපාසිකාවන්ට භාරදී උඩුවියන් බැඳ, පිරුවට අතුරා සකස් කළ වෙනම ස්ථානයක් තබා ගෞරවයෙන් ”නියපිටින්” සහල් බවට පත්කර බුද්ධ පූජාව පිළියෙල කර දහවල් රජතුමා පූජාකළ පාත‍්‍රයට බුද්ධ පූජාව තැන්පත් කර මුතු කුඩය යටින් කරල් කුමරු බුද්ධ පූජාව තබා තේවාව භාර හිමියන් විසින් පූජා වතාවත් ඉටුකරනු ලැබේ.
69
එම විහාරයේ දෙසියපනස් වැනි දුරුතු පෙරහර පසුගියදා නිමාවිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තෑගිදෙන ලද කුඩා කාලතුවක්කුව අදත් තිබේ. එයින් පෙරහර පිටත්වීමට වෙඩිල්ල පත්තු කිරීම සඳහා පරම්පරාවෙන්ම රාජකාරිය පවරා ඇති අයෙක් වන ඇම්. ජෝන් විසින්. බෙහෙත් කොටා පිටුපස ඇති කුඩා සිදුරකින් වෙඩි නූල ගෙන නැකතට වෙඩි නූල පත්තු කෙරේ.

වටිනා දැවයෙන් පිටුපස කොටස එදා රජ දවස නිමවා තිබූ ආකාරයටම ඇති අතර කිලෝ තිහක් පමණ බරකින් යුක්තය. මෙම  කාලතුවක්කුව ආරක්ෂා සහිතව සුරක්ෂිතව තබා ඇත. විහාරාධිපති හිමියෝ එය වසරකට වරක් පෙරහර සඳහා එළියට ගන්නා අගනා වස්තුවක් හැටියට ප‍්‍රකාශ කරන අතර දැනුම්දීමකින් අනතුරුව එය ගෙනැවිත් පෙන්වීමට කාරුණික වූහ.

ලෙන් විහාර ගෙයි ඇතුළුවෙත්ම දකුණු අත පැත්තේ ඇති දෝලාව ලෙව්කේ දිසාව විසින් විහාරගෙයට පරිත්‍යාග කරන ලද්දක් බව ප‍්‍රකාශ වන්නේ එවකට විහාරාධිපති හිමියන් උපසම්පදාව ලබා වැඩම කරවන ලද්දේ එම දෝලාවෙනි. අදටත් හොඳින් සංරක්ෂිතව බුදුමැදුර තුළ දෝලාව ඇත. විහාරාධිපති ”අඹන්වල හේමාලංකාර” නාහිමියන් විහාරයේ දියුණුවට අපමණ මෙහෙයක් ඉටුකරයි.

මානියම්ගම කඳුවැටියේ උසම ස්ථානය අඩි 1410 පමණ වේ. රජ මහා විහාරය, මෙම කඳුවැටිය බෑවුමේ පිහිටා ඇත. කඳුවැටිය ”යකහටුවාව” නමින් හඳුන්වයි. යක්+හකුව, හකහටුව වශයෙන් ව්‍යවහාරයේ ඇති අතර මුළු ප‍්‍රදේශයේම පරීක්ෂා කළහැකි නිසා රජ දවස ප‍්‍රධාන නිරීක්ෂණ මුර කුටියක් පිහිටා තිබී ඇත.

මෙම කඳුවැටියේම ”කොබෝකුරා” (කොබෝතුරා) ගලේ සිටි ලිහිණි පැටියකු රජවාසලට ගෙනගොස් ඇතිකළ අතර ලිහිණියා අතිදැඩි වී රාජසිංහ රජතුමාට හිතවත් වී රජු සමග ගැවසෙමින් සිටින අතරතුර දිනක් රජු සමග සංචාරයේ යන ලිහිණියා දිවයන මුවකු දැක ඉගිල ගොස් මුවා අල්ලා පාදයකින් ගසක් අල්ලා, අනික් පාදයෙන් මුවා මෙල්ල කිරීමට යෑමේදී මුවාගේ ශක්තිය වැඩිකමට පැනීමේදී ලිහිණියා දෙපළුවී ගොස් ඇත. රජුට තම හිතවතා ගැන දුක සිතී එම සත්වයා සිහිවීම පිණිස රජු ලිහිණි රූපය තුන්කෝරළයේ කොඩියට එක් කළේය.

දෙහිගම්පල්, අටුළුගම්, පනාවල් යන තුන්කෝරළයට අයත් භේ්රුණ්ඩ පක්ෂි කොඩිය එයයි. මුළු සීතාවක රාජධානියටම භේරුණ්ඩ පක්ෂියාගේ කොඩියක් සොයාගැනීම අමාරු කාර්යයකි. තිබෙන්නා වූ තුන්කෝරළ කොඩි නවීකරණය කරන ලද එයට තවත් කොටස් එක්කරන ලද කොඩියි. එහෙත් මොරාවත්ත වලව්වේ තිබෙන බවට ලැබුණු හෝඩුවාව මත වලව්වට ගොස් විමසීමේදී සුනේත‍්‍රා මැණිකේ මහත්මිය එම කොඩිය පෙන්වීමට තරම් කාරුණික විය.

එහි ඇති සීතා ලෙන අසලම කඳුගැටිය ඉංගී‍්‍රසි හමුදා කඳවුරක් ලෙස තිබුණු බවත් එම ස්ථානයට අවට මාර්ග සියල්ලක්ම නිරීක්ෂණය කිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයක්ව ඇත.

සීතාවක රජ මාලිගාව අවිස්සාවේල්ල නගරයෙන් මානියම්ගම රජමහා විහාර මාවතේම නගරයට තරමක් දුරින් පනාවල මාර්ගයේ උඩින් ඇති කඳුගැටය සීතාවක රජ මාලිගාව තිබූ භූමියයි. එම ස්ථානය, බණ්ඩාරවත්ත නමින්ද හඳුන්වයි. එම ස්ථානයේම සීතාවක පුරාවිද්‍යා කාර්යාලය පිහිටා ඇත. සීතාවක රාජධානිය කරගත් මායාදුන්න රජතුමා මෙහි ඔපදැමූ ගල් පුවරු ඇල්ලූ රන්කොත් පැළඳවූ මාලිගා සංකීර්ණය දෙව්පුරයක් සේ තිබී ඇති බවත් සැවුල් සංදේශයේ වර්ණනාවෙන් උපුටාගන්නා ලද බවක් සීතාවක රණබිම රචිත චන්න කුසල් මහතා පෙන්වාදෙයි. රාජසිංහ රජතුමාගේ මරණයෙන් පසු ආක‍්‍රමණිකයෝ මෙම සුන්දර මාලිගාව විනාශකර ඇත.

විනාශ කරන ලද මාලිගාවේ ලන්දේසීන් බළකොටුවක් ඉදිකර තිබූ බව එහි තුළ සවිකර ඇති පුරාවිද්‍යා පුවරුවේ සඳහන් කර ඇත. 1615 දී ලන්දේසීන් එම මාලිගාවේ ගල් උපයෝගී කරගෙන බළකොටුව ඉදිකර ඇති බව සිතිය හැක. බළකොටුවේ මුළු හතරේ තිබූ අටළු හතර හෙවත් බැස්ටියන් හෙවත් මුර අට්ටාල, කොළඹ, ගාල්ල, රික්ලොෆ් සහ ලූසියා වශයෙන් නම්කර තිබූ බව ප‍්‍රකාශ වෙයි.

මෙහි බලගතු කාලතුවක්කු සවිකර තිබූ අතර එහි මැද හමුදා භට සහ ආහාර ආයුධ ගබඩා තිබී ඇත. අභ්‍යන්තරයේ විශාල වළක් දැකියහැකි අතර එය එදා කොටුව තුළ ජලය සපයාගත් ළිඳ බව සඳහන්ය. කොටුපවුර ගරා වැටී ඇති අතර අභ්‍යන්තරය ද ගරා වැටුණත් පුරාවිද්‍යා ආයතනය මගින් අභ්‍යන්තරයේ කරන ලද කැණීම් තුළින් මාලිගාව තිබූ විශාල මටසිලිටු ගල් මතුවී තිබේ.

සීතාවක රජ මාලිගාව තිබූ තැන ඒ අසලම රජ බිසෝවරුන්ගේ මාලිගාව හෙවත් පල්ලේ වාහල ඇති අතර එහි සාධක වශයෙන් ඔප දැමූ ගල් පුවරු කීපයක් පමණක් දැකගැනීමට පුළුවන. මාලිගයේ බිසෝවරුන්ට මෙන්ම කුමරියන්ට ආභරණ තැනූ රාජකීය පට්ටලය තිබූ ස්ථානය පට්ටල්වත්ත ලෙස ව්‍යවහාරයේ පවතී.
sd

මාලිගය පිටුපස කඳු මුඳුනේ කුඩා ප‍්‍රමාණයේ බළකොටුවක් පෘතුගීසීන් ඉදිකර තිබී ඇති අතර මායාදුන්න රජ දවස ද පණිවිඩ යැවීමට ඊතල විදින ස්ථානයක් ලෙසද ආරක්ෂිත මුර පොළක් ලෙසද එම ස්ථානය තිබී ඇති බව ප‍්‍රකාශ වෙයි.මහනුවර විෂ්ණු දේවාලයට තෙල් දුන් නිසා ”තෙල් දූව” තල්දූව වශයෙන් දැන් භාවිතයේ ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එය විෂ්ණු දේවාලයට පූජාකර ඇති බවත් කි.ව. 1549 හිරිපිටියේ දියවඩන නිලමේ සීතාවකට වැඩම වූ දළදා වහන්සේ තැබූ ස්ථානය සොමාරාම විහාර ඇති මළුව පිටවත්ත වශයෙන් හඳුන්වන අතර තේවාවට කැපවූ පිරිස පදිංචි කළ භූමිය ගණ පන්තිය වශයෙන් හඳුන්වයි. වසර පනහකට පමණ පෙර නටබුන් තිබූ බවත් ප‍්‍රකාශ වුවත් දැනට එහි කිසිවක් සොයාගැනීමට සිහිවටන නොමැත.

අවිස්සාවේල්ල පසුකර කැලණි ගං මිටියාවත දිගේ ඉහළට එන විට තල්දූව තුරග තරග පිටිය හමුවෙයි. මෙය ස්වභාවික පිටියකි. පසෙකින් කැලණි ගඟ ගලාබසී. විශාල පිටියක් වූ මෙය සීතාවක රජ සමයේ අංගම්පොර සහ සටන් පුහුණු පිටිය ලෙස තිබූ බවත් ඉංගී‍්‍රසීන්ගේ යටත් විජිත සමයේ තුරග තරග පිටියක් ලෙස සකස්කර තිබෙන ආකාරයත් ඉහළින් ඔවුන්ගේ තානායම ඉදිකර තිබෙන ගොඩනැගිලිත් අද දැකියහැක. තුරග තරග පිටිය පසුකර මඳ දුරක් එන විට වැලිවිටියේ දී රාජසිංහ රජුගේ සොහොන හමුවේ. එය කුඩා කඳුගැටයක දොළකින් වටවූ ස්ථානයක කළුගල් කණු කීපයක් සහිත ස්ථානයකි.

සීතාවක රාජසිංහ රජු විසින් බොරුවළක දමා මරවන ලද පේරාදෙණි රාජවංශික විජයසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු හෙවත් කොනප්පු බණ්ඩාර ආරක්ෂාව පතා ප‍්‍රතිකාලූන්ගේ ආරක්ෂාවේ ජීවත් වී ඇති අතර ජයවීර රජුගේ බෑණා වූ දොන් පිලිප් කුමරු ශ්‍රී ජයවර්ධනපුර රජු බවට පත්කර දොන් ජුවන් සෙනවි තනතුරට පත්කර ඇත. එහිදී දොන් ජුවන්, දොන් පිලිප් මරා රජ බවට පත්වන්නේය. එයට කෝපයට පත් සීතාවක රාජසිංහ රජු මහනුවර බලා යන්නේ දොන් ජුවන්ගෙන් පළිගැනීමටය. එහෙත් යන අතර ”බලන” අසලදී දොන් ජුවන් සමග කළ සටනේදී පැරද තුවාල ලබා පසුබැස ගොස් පෙතංගොඩ උයනේදී ගිලන්ව ඇත.

(මහා වංශයේ 59 පරිච්ෙඡ්ජ්දයේ සඳහන් වෙයි.)
රාජසිංහ රජුට පෙතංගොඩ උයනේදී ප‍්‍රතිකාර කර අගුලේ දමාගෙන පහළට පැමිණ ඇති අතර කිකිළි බිත්තර වැල්ලේදී රජු කටින් පෙන දමා මියගිය බව ප‍්‍රකාශ වේ. ඉන්පසු රාජ දේහයට කළයුතු දෙය නොදන්නා පිරිස, ඇළ දිගේ අගුල ගෙනැවිත් දෝනාවක් වැනි තැනක තබා වැසූ බව ප‍්‍රසිද්ධ කතාවකි.
වැලිපිටියේ සොහොන අසලට එන්නට ඇති දෝනාව වගේම කැලණි ගෙඟ් ඇළක් ඇත. ඇළට ඉහළින් එම සොහොන පිහිටා තිබේ. වැලිපිටියේ සොහොන පසුකරමින් ඇපලපිටිය ග‍්‍රාමය මැදින් තරමක් දුරට ගිය පසු හමුවන්නේ මැදගොඩ දේවාලයයි.

දෙහි ඕවිට ප‍්‍රදේශයේ පිටදෙණිය තිබිරිපොළ හන්දියෙන් ඇති පාරේ කි.මී. එකක් පමණ ගියපසු තිබිරිපොළ ගම හමුවෙයි. තිබිරිපොළ ගමේ ඇති සංගිලි පාලම සීතාවක ගඟට උඩින් ඇත. සීතාවක ගඟ අසබඩ තිබිරිපොළ ගම තෙබු වනාන්තරය මැද ඇති ”රම්පටගල සිරිපතුල” සොයා යෑම අරමුණයි. සිරිපතුල ඇති ස්ථානයට යෑමට මාර්ගයක් නොමැත. තෙබු ගස්වලින් පිරි කැලෑවක් මැද සිරිපතුල තිබෙන බව ප‍්‍රකාශ කළේ නාරල ගමරාලලාගේ ප‍්‍රදීප් තුෂාර ගුණරත්නයි. ඔහු ඉදිරියෙන් ගමන් කරයි. දෙවනුව ගමේ කීපදෙනෙක් සමඟ එකතු කරගෙන යෑමට සහය වූයේ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්තී‍්‍ර පේ‍්‍රමචන්ද්‍ර පරණාතල මහතා සහ මහින්ද බණ්ඩාර යන අයයි. සියලූදෙනාම තෙබු කැලය මෑත්කරමින් විනාඩි පහළොවක් පමණ ඉදිරියට ගියපසු සීතාවක ගෙඟ්  ඉස්මත්තේ ඇති ගල්තලාවක් හමුවිය.

එහිදී දැකගැනීමට හැකි වූයේ අඩි 4 පමණ දිග අඩි 2 පමණ පළල සිරිපතුල් සටහනකි. ගලට පහළින් ගඟ කිසිදු හඬක් නොනඟා ගලා බසී.

සිරිපතුල් සටහනේ නෙළුම් මල් හයක් යොදා අලංකාර කර ඇත. බිසෝවරුන්ට සිරිපා වැඳ ගැනීම සඳහා මෙය නෙළා ඇති බව ජනප‍්‍රවාදයේ එයි. ගල් පර්වතයේ සිරිපා ලකුණ අසල ඇති. හාරන ලද වළවල් කියාපාන්නේ මෙය ආරක්ෂා වීම සඳහා පියස්සක් තිබී ඇති බවයි. සිරිපතුලේ කොටා ඇති නෙළුම්මල් කීපයක් තරමක් මැකී ඇති අයුරු කියාපාන්නේ යම්කිසි පිළිස්සුම් ද්‍රව්‍යයක් එවකට වක්කර ඇති බවයි.

රාජසිංහ රජුගේ බිසවට දරුවකු ලැබීමට දොළ දුකක් ඇතිවී තිබෙන්නේ ශ්‍රීපාදය වැඳීමටයි. එහෙත් ඒ වේලාවේ ප‍්‍රදේශයේ සතුරු ආක‍්‍රමණ පැවැති ඇති බැවින් එම කාර්යය ඉෂ්ට කිරීමට නොහැකි තත්ත්වයක් තිබූ හෙයින් රජු සීතාවක ගෙඟ් ඉවුරේ ඇති මෙම ගල් පර්වතයේ රම්පටගල සිරිපතුල නිර්මාණය කර අඟුලෙන් ඇවිත් දේවියට ශ්‍රීපාදය වන්දනා කරන්නට සැලැස්සූ බව ජනප‍්‍රවාදයේ ඇති බව ගම්මු ප‍්‍රකාශ කරයි.

තිබිරිපොල යනු සීතාවක ගෙඟන් එගොඩ වැල්ලතොට යන ප‍්‍රදේශයේ තිබිරිගෙය තිබූ බවට විශ්වාසයක් ඇති බවත් තිබිරිපොල බණ්ඩාර කියා පාලකයෙක් සිටි බවද සඳහන් කරන්නේ පුරාවිද්‍යා උපාධිධාරී සබරගමු වංශකතාව ලිපිය ලියූ ඉහළ තල්දූව එන්.එල්. සාර්ලිස් අමරසිරි මහතායි. (අවු. 80) එතුමා සීතාවක රාජධානියේ ඉතිහාසය මැනැවින් ප‍්‍රගුණ කළ දැන උගතෙකි. ඔහු කියන්නේ ”රම්පදගල-රාම නදගල” යනුවෙන් බිදී ආ හැකි බවත් ලක්දිව ඇති ගංගා සියල්ලටම නම්වලට වෙනස් නමක් වූ සීතාවක ගඟ රාමාගේ පැමිණීම අනුව සිදුවීමක්ද විය හැකි බවයි.

රම්පදගලxසීතාවක ගෙඟන් තිබිරිපොළ අසල වැල්පාලමෙන් එගොඩ වී පවුල් හැත්තෑපහක් පමණ ඇති කුඩා ගමක් වූ තිබිරිපොළ ගම මැදින් කන්ද දෙසට කි.මී. එකක් පමණ ගිය පසු රජලෙන හමුවෙයි. 1952 සෙනරත් පරණවිතාන සූරීන් මෙම රජ ලෙන ගවේෂණය කළ බවත් ගම්වැසියන් මඟ පෙන්වීමට සහභාගි වූ බවත් ප‍්‍රකාශ කරන්නේ රජලෙන දක්වා යෑමට ආරම්භ කරන මාර්ගයේ මුලින්ම හමුවන වයෝවෘද්ධ එඞ්මන් මහතායි.

සුපිරිම සුපිරිසිදු නොයිඳුල් දිය උල්පත් තුළින් ගලා එන දිය පහරක් එම රජලෙන කඳු පාමුලට ගලා එයි. රැහැයියන්ගේ නාදයත් ඉතාමත් සුමිහිරිය. තොර තෝංචියක් නොමැතිව නාදය ඇසෙයි. අතරින් පතර වළිකුකුළකුගේ නාදය ළඟම ඇසුණත් දකින්නට නැත. හැළි වඳුරෙකුගේ බුකුං බුකුං ඒ සමගම ඇසෙයි. දර්ශනයට සමානව එවන් මිහිරි නාදයක් විඳිමින් ඇළ මධ්‍යයේ ඇති විශාල ජල තටාකයක් බඳු හිරුඑළිය වැටෙන ස්ථානයක පිපාසය සංසිඳුවා ගැනීම සඳහා තරමක් නැවතී සිටියෙමු.

කන්ද තරණය කිරීම සඳහා තිඹිරිපොල ගමේ පාසල් දරුවකු වන එන්.ජී. සුබාස් තරුණයා අප සියලූදෙනා ගිමන් නිවාලනු පිණිස සිටින විට ප‍්‍රකාශ කළේ තව ටිකයි යන්න තියෙන්නේ යමු කියලායි. හරිහමන් විදිහට අහස නොපෙනන ගස් ගොම්මනේ කන්ද පමණක් ඉහළට ඇති අතර ලෙනක් තියෙනවා කියන විශ්වාසය මත නැවතත් ගමන ඇරඹුවා. තවත් කෙටි දුරක් තරණය කළ පසු විශාල ගිරිහිසක් දැකගැනීමට ලැබුණා. ඉන්පසු ගල්මතින් මුල් මතින් නැග ගිය පසු රජලෙනට යෑමට හැකි වුණා.

සුන්දර නිස්කලංක වනපෙතේ ගලා යන දිය පාරවල් අද්දර මිනිසුන් දාහකට වුණත් සිටිය හැකි විශාල රජලෙන ඇත්ත වශයෙන්ම අපගේ මානවයාගේ උරුමය කියා නිරායාසයෙන්ම වැටහෙයි.

රජලෙන පුරාණයේ සිට ව්‍යවහාරයේ පවතී. පරණවිතාරන සූරීන් මෙම රජලෙන ගවේෂණය කර ඇති අතර, අප දකින ලද අක්ෂර එතුමා කියවා බලා ප‍්‍රකාශ කර ඇත්තේ මෙය සඝ සතුකොට පූජාකරන ලදි යනුයෙන් ලියා ඇති බවයි. රජලෙන, කි‍්‍ර.පූ. 2 සියවසේ සිට ජනාවාසයක්ව තිබූ බව පවසා ඇති අතර මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමඟ අවුරුදු සියයක් යන විට සීතාවක ගඟ දිගට ජනාවාස පිහිටා ඇති බවත් ප‍්‍රකාශ වේ. ගල්ලෙන් කොටා ඇති අක්ෂර වන්නේ.
(ගමික කඩක, කුලස, ලෙණෙ ශගස නියතේ) යනුවෙනි. ගමික කඩක කල ගමිකයා සංඝයා සඳහා මෙම ලෙන පූජා කරන ලදී.

රජ ලෙනට ඉහළින් කුඩා ගල් ලෙනක් ද ඇත. එම ගල්ලෙන අසලට යායුතු වන්නේ ගල්දෙබොක්කකින් ජල පාරක්ද තරණය කර ඉහළටයි. එම කුඩා ගල්ලෙනේද කටාරම් කොටා ඇති අතර බ‍්‍රාහ්මීය අක්ෂර කොට ඇති අතර එහි (උපශක වෙරය, නිශහ ලෙනේ ශගශ නියතේ) කියා සටහන් කර ඇති බවත් (මෙරෙනිකා උපාසිකාවට පූජා කරන ලදී.) යනුවෙන් සටහන් ඇති බව පරණවිතාන සූරින් ප‍්‍රකාශ කර ඇති බවයි.

පසුකාලීනව මෙය රජලෙන වුවත් සතුරු ආක‍්‍රමණ අවස්ථාවල රාජසිංහ රජු ආරක්ෂාව පතා මෙම ලෙනෙ සිටි බව ජනප‍්‍රවාදයේ එයි. රජලෙනට ඉහළින් කන්ද කොතෙක්ද කියා සිතීමට නොහැකි තරම්ය. වනාන්තරය පැතිර ඇත. සීතාවක ගංතෙරට පෙනෙන කන්ද හතරෙන් එකක්වත්  අප පැමිණ නැත. රජලෙන සොයා ගිය ගමනේ නඬේගුරා වූයේ, ප‍්‍රදීප් තුෂාර ගුණරත්නයි. ඔහුගෙන් විමසා සිටි විට ප‍්‍රකාශ කළේ මෙම කන්දේ අනික් පැත්ත ”යකහටුවාව” කන්ද හෙවත් මානියම්ගම රජමහා විහාරය පිහිිිිිිිිටි ප‍්‍රදේශය බවයි. එහෙත් රජලෙනෙන් එහාට අපිට යෑමට වරම් නොමැත. රක්ෂිතයකි. ඝන වනාන්තරයකි.
අප සමග සිටි පුෂ්පකුමාරත්, තුෂාර ගුණරත්නත් වැල් වර්ගයක් ගලවමින් සිටිනු දැකීම අනුව පේ‍්‍රමචන්ද්‍ර පරණතල මහතා විමසා සිටියේ මොනවාද ඔය වැල් කියාය. ඔවුන් ප‍්‍රකාශ කළේ ”ගොනු කෑ කොළ” කියාය. යන ගමන් කැඳ බොමු කියා ප‍්‍රකාශ කළ අතර අපට විනාඩි හතළිස්පහක පමණ කාලයකින් කන්ද පාමුලට ඒමට හැකිවුණා. තුෂාර ගුණරත්නගේ නිවෙස පිහිටා තිබෙන්නේ සීතාවක ගඟ අසලමයි. ගෙනෙන ලද කොළ කොටා සුළු වේලාවකින් අපට ඖෂධීය ගුණ ඇති ගොනුකෑකොළ කැඳ සංග‍්‍රහයක් කිරීමට තරම් ඔහු කාරුණික වුණා.

සීතාවක රාජසිංහ රජු සීතාවක ගඟ දිගේ පහළට ගොස් ”මැදගොඩ” නැමැති ස්ථානයේදී කැලණි ගඟ මුහුවන ස්ථානයේදී කැලණි ගඟ දිගේ ඉහලට ගොස් රුවන්වැල්ලෙන් ”ගුරුගොඩ ඔය” දිගේ ඉහළට ගමන්කර අරංගල හරියේදී ගොඩබිම් මාර්ගයට පිවිස ඇත. රජු නිතරම ගමන් බිමන් කර ඇත්තේ අඟුලෙන් යෑමට තිබූ කැමැත්ත මතය. කැලණි ගඟ දිගේ ඉහළට යන විට මැදගොඩ හරියේදී අඟුල නිකම්ම නතර වී ඇත. ඒ මන්ද කියා බැලීමට රජ අණ කර ඇත.
පසුව සොයා බලා ප‍්‍රකාශ කර ඇත්තේ අසල දෙවොලක් ඇති බවයි. ඒ අනුව රජු පහනක් පත්තු කිරීමෙන් අනතුරුව අඟුල නිකම්ම ගොස් ඇත. මෙම ප‍්‍රාතිහාර්ය නිසා රාජසිංහ රජතුමා 1588 දී මියගිය ”මල්වතී” දේවිය අගබිසව සිහිවීමට ඉන්පසු මෙම දෙවොල මැදගොඩ පත්තිනි දේවාලය කරවූ බව ප‍්‍රකාශ වෙයි.

සීතාවක රාජධානියට අයත් කැලණි ගඟ පසුකර ගුරුගල්ල පාලම මතින් මඳ දුරක් ගිය පසු වම් අත පැත්තට හැරීමට ඇත්තේ මැදගොඩ පත්තිනි දේවාලය සඳහන් මාවතටය. එම මාවතේ ටික දුරක් තරමක ඉහළට යන විට විශාල නාගස් රාශියක් මැද්දේ පිහිටා ඇති දෙවොල මැදගොඩ පත්තිනි දෙවොලයි.
මැදගොඩ දෙවොලේ වත්මන් බස්නායක නිලමේ වන්නේ මාපිටිගම බණ්ඩාර මහතායි. කපු මහතා සතියේ දිනවල බදාදා සහ සෙනසුරාදා දෙවොලේ දේව මෙහෙයන් ඉටුකරයි. එම දිනයන්ට බැතිමතුන් පත්තිනි දෙවියන්ගේ පිහිට පතා පැමිණෙයි.
(මතු සම්බන්ධයි)



උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්

 m
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment