බැටරිය - Battery

මූලික න්‍යාය

      වාහනයක් පණගන්වා ගැනීම සදහා පණගැන්වීමේ මෝටරයට අවශ්‍ය විදුලි ධාරාව සැපයීම බැටරියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. පුළිු පේනුවල පුළිු ඇති කිරීම සදහා විද්‍යුත් ශක්තිය සැපයීම ද බැටරිය මගින් ඉටු කෙරේ. ජනකයෙන් උත්පාදනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වාහනයේ අවශ්‍යතාවයට වඩා අඩු වූ විට එම අඩු විද්‍යුත් ශක්ති ප්‍රමාණය  සැපයීම ද බැටරිය මගින් සිදු කෙරේ.  මෝටර් රථවල භාවිත කරනුයේ ලෙඩ් අම්ල(LEAD - ACID) වර්ගයේ බැටරියයි. මෙම බැටරිවල විශේෂත්වය වනුයේ විසර්ජනය වූ පසු බාහිර විදුලි ධාරාවක් ලබා දීමෙන්, බැටරිය නැවතත් ආරෝපණය තත්ත්වයට පත් කිරීමට හැකි වීමයි. ලෙඩ් අම්ල බැටරියක් සෑදී ඇත්තේ ලෙඩ් අම්ල කෝෂ කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙනි.


ලෙඩ් අම්ල කෝෂය (LEAD ACID CELL)

කෝෂයකින් ලබා ගත හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය

01.කෝෂයේ තහඩුවල අඩංගු ක්‍රියාකාරී ද්‍රව්‍ය(Active Materials) ප්‍රමාණය

02.තහඩුවල ක්ෂේත්‍රඵලය

03.විද්‍යුත් විච්ඡේද්‍යයේ ඇති අම්ල ප්‍රමාණය මත රදා පවතී.

ලෙඩ් අම්ල කෝෂයකින් ලබා ගත හැකි උපරිම වෝල්ටීයතාවය 2.1 V කි. එහෙයින් 12 V ක බැටරියක් ඇත්තේ ලෙඩ් අම්ල කෝෂ 6ක් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙනි.

ලෙඩ් අම්ල කෝෂයක් සමන්විත වන්නේ, භාජනයක අඩංගු කර ඇති ධන තහඩු සමූහයකින් හා සෘණ තහඩු සමූහයකින් භාජනයට තනුක සල්ෆියුරික් අම්ලය යොදා ඇත. මෙම අම්ලය විද්‍යුත් විච්ඡේද්‍ය (Electrolyte) ලෙස හැදින්වෙන අතර එහි විශිෂ්ඨ ගුරුත්වය(සාපේක්ෂ ඝනත්වය) 1.25 පමණ වේ. විද්‍යුත් විච්ඡේද්‍ය සාදා ගන්නේ ආසූත ජලයට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මිශ්‍ර කිරීමෙනි.


    

ලෙඩ් අම්ල බැටරි වර්ග

01.තෙත් බැටරි (Wet Batteries)

02.වියළි ආරෝපිත බැටරි (Dry Charged batteries)

03.නඩත්තු අනවශ්‍ය බැටරි (Mainte nance free batteries)

  

තෙත් බැටරි (Wet Batteries)

    බැටරි තුළට විද්‍යුත් විච්ඡේද්‍යය යොදා ආරෝපණය කර ඇත. බැටරිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේ දී බැටරියේ වෝල්ටීයතාව පරීක්ෂා කර වෝල්ට් 12කට වඩා අඩු නම් නියමිත වෝල්ටීයතාවය ලැබෙන තුරු බැටරිය සෙමින් ආරෝපණය කළ යුතුය. භාවිත නොකොට කලක් තිබුණහොත් සෙමින් විසර්ජනය වීම සිදු වේ. විසර්ජනය වී කලක් පැවතුන හොත් බැටරිය නැවත ආරෝපණය කළ නොහැකි තත්ත්වයට පත් වේ. මේ නිසා ගබඩා කර ඇති තෙත් බැටරි මසකට වරක් පරික්ෂාකර බලා සම්පූර්ණයෙන් ආරෝපිත තත්ත්වයට පත්වන තෙක් සෙමින් ආරෝපණය කළ යුතුය.

වියළි ආරෝපිත බැටරි  (Dry Charged batteries)

        වෙළද පොළේ වැඩි වශයෙන් භාවිත කරනුයේ වියළි ආරෝපිත බැටරිය. බැටරි තුළ විද්‍යුත් විච්ඡේද්‍ය නොමැත. බැටරිය ප්‍රයෝජනයට  ගන්නා අවස්ථාවේ දී විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ තුලට යොදා සකස් කර ගත යුතුය.

නඩත්තු අනවශ්‍ය බැටරි (Mainte nance free batteries)

         සමහර නවීන වාහනවල භාවිත කරයි. බැටරි කෝෂ සදහා මූඩි නොමැත. බැටරි මුදුන මුද්‍රා කර ඇත. මෙම බැටරිවල විද්‍යුත් විච්ඡේද්‍ය මට්ටම පරික්ෂා කිරීමක් හෝ ආසුත ජලය එකතු කිරීමක් අවශ්‍ය නැත. නඩත්තු වශයෙන් කළයුතු වන්නේ බැටරිය හා අග්‍ර පිරිසිදුව තබා ගැනීම හා අවශ්‍ය නම් නැවත ආරෝපණය කිරීමයි. බැටරිය මුදුනේ ඇති දර්ශකයක් මගින් ආරෝපණ තත්ත්වය පෙන්නුම් කරයි. වාහන විදුලි පද්ධතිවල වෝල්ට් 6, 12, 24 වොල්ටීයතා භාවිතා කරයි. වෝල්ට් 6 හා 12 පද්ධති සදහා වෝල්ට් 6 හා 12 වෝල්ටීයතා භාවිතා කරයි. වෝල්ට් 24 විදුලි පද්ධති සදහා වෝල්ට් 12 බැටරි 2ක් ශ්‍රේණිගතව සම්බන්ධ කර භාවිතා කරයි.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment